උඩතට්ටුවේ ගෙදර කවුරුවත් නැති බව කෝකටත් තහවුරු කරගන්න ජයවීර සෙකුරිටි ට කෝල් එකක් ගත්තා.දවස් දෙකකට ඔවුන් නැති බව දැනගැනීම ම ජයවීරට ලොකු සහනයක් උනා.. කෝපි කෝප්පෙකුත් හදාගන හුලං වදින තැනකට වෙලා පයිප්පෙ උරන එක ජයවීරගෙ පුරුද්දක් උනත්,මේ අළුත් ෆ්ලැට් එකට මාරු උන එකෙන් ඒ පුරුද්දත් සීමා කරන්න උනා.දරුවෙක් ලැබෙන්න ඉන්න උඩතට්ටුවේ ගෙදර ශෙරින් දුව සැමියා මාලකත් එක්ක ඇවිල්ලා බොහොම කාරුණිකව කරපු ඉල්ලීම නිසා බැල්කනියට වෙලා පයිප්පය දල්වන්න ජයවීරට හිත එකඟ කරගන්න බැරි උනා.. ඒත් අද නම් නිදහස්...
හැන්දෑව එලඹිලා..නයි වගේ දඟර ගැහුනු පාරවල් දිගේ වාහන පෝලිම් ගැහිලා.. ලොකු ලේලන්ඩ් බස් හබරණ අලියන්ට ගහන හෝන් එකටත් වඩා සැර හෝන් ගහලා පොඩි ත්රීවීල් කාරයො බය කරන් යන්න දඟලන ගෝරනාඩුව තට්ටු පහක් උඩ බැල්කනියට වෙලා ජයවීර අහගෙන හිටියා.
දවසේ මහන්සිය කරේ තියගෙන දුම් දූවිලි පිරුන පාරෙ ඉක්මනට ගෙදර යන්න අස්සෙන් දාන බයික් කාරයෙකුට ලොකු කාර් එකක හිටපු නෝන කෙනෙක් සීතල ඒ.සී එක එලියට යන්නැතිවෙන්න වීදුරුව බාගෙට ඇරලා ඉංග්රීසියෙන් බනින හැටි ජයවීරට මැවිල පෙනුනා..
හ්ම්ම්ම්ම්... ඔය ඔක්කොම කලබල ටික නිස්කලංකෙන් හාන්සි පුටුවකට වෙලා බලාගෙන ජයවීර කල්පනා ලෝකෙ සැරිසරන්න පටන් ගත්තා..
නව යොවුන් වියේ ඉඳන් තමුන්ගෙ දිවිය ගෙවුන හැටි හීනයක් දකිනවා වගේ දෑස් ඉදිරිපිට සැර දුම්ගුලි අතරින් ජයවීරට පෙනෙන්න පටන් ගත්තා.
රැකියා.... උසස්වීම්.... අසනීප.... විවාහ.... දරුවන්.... දරුවන්ගේ දරුවන්....
මේ ඔක්කොම මතකයන් විතරයි.කොටින්ම ලොකු දුවගෙ දරුව ලැබුනායින් මෙතුවක් කල් තමුන් ලඟ උන්නු බිරිඳටත් විදෙස්ගත වෙන්න උනා..
කොල්ල නම් අරාබියට වෙලා ඌ කියන විදිහටම ඔටුවන්ගෙ දත් මැද මැද ඉන්නවා.අප්පච්චිට සලකන්න ඕනෙ කියලා මේ ෆ්ලැට් එකට එක්කගෙන ආවට කොහෙ හිටියත් හම්බවෙන්නෙ ඉන්ටනෙට් එකෙන් විතරයිනෙ කියන එක උට ගානක් නෑ..
ඒත් කාගෙවත් හිත රිදවන්න අකමැති ජයවීර පුතාගෙ තීරණේට එරෙහි උනේ නෑ.
කාලෙකට කලින්....
ගොඩා...ක් කාලෙකට කලින් තමුන් හීන මැව්ව ජීවිතේ මේකමද කියන සැකේ හිතේ කොනක ඉඳන් වරින් වර වතුර යට තිබුන රබර් බෝලයක් වගෙ උඩ ආපු හැටිත් බිරිඳ,දරුවන් ගැන තියෙන හැඟීමේ බර වැඩිකම නිසා ආයෙත් හිතේ කොනකට තල්ලු කරපු හැටිත් මතක් උනේ අද ඒ කවුරුත් ලඟ නැති වෙලාවෙ වඩාත් තදින් ඒ හැඟීම හිත වහගත්තු නිසා වෙන්න ඕන..
'මම ආදරය කලා ද?'
'මේ ජීවිතේ ආදරය මම ස්පර්ශ කලා ද?'
ජයවීර තමුන්ගෙන්ම ප්රශ්න කරගත්තා..
අහවර උනු කෝපි මග් එක නොසෝදාම අයිස් කැට කීපෙකුත් එක්ක බ්රැන්ඩි බෝතලය ලංකරගත්තු ජයවීර බැල්කනියට වෙලා පියාඹගෙන යන කාක්කො රංචු දිහා බලන් හිටියා.
හැමෝගෙම මල්ලෙන් කාක්ක කෑවත් කාක්කගෙ මල්ලෙන් කන්න කවුරුත් නෑ නෙ කියල මතක් වෙලා පොඩි හිනාවක් ගියා..
තමුන්ගෙ යාළුවන්ගෙ.., උන්ගෙ බිරින්දෑ වරුන්ගෙ.., දුවගෙ පුතාගෙ යාළුවන්ගෙ පවා හිතේ බර හෑල්ලු කරපු තමුන්ට, තමුන්ගෙ හිතේ බර හෑල්ලු වෙන්න චැටක් දාන කෙනෙක් නැතිවීම හිංදා තමුනුත් කපුටෙක් විදිහටයි ජයවීරට දැනුනෙ..
උත්පලා එක්ක ඇත්තටම සම්බන්ධතාවක් තිබුනද?
ක්ලාස් යන දවස් වල බලන් හිටියට, කවි ලීවට අඩුම ගානෙ අතින් අල්ලලා කතා කරලවත් නෑ කියල මතක් වෙනකොට දැනුන හැඟීම ජයවීර සැර බ්රැණ්ඩි උගුරකින් පුච්චලා දැම්මා.
තමුන්ගේ වරද නිසා එදා මඟඇරුනු ඈ ආයෙ කිසි දිනක නොදුටු බව තොරතුරක් නොලද බව මෙච්චර තාක්ශනේ දියුණු ලෝකෙ කවුරුත් පිලිගන්න එකක් නෑ.
ඇත්තටම හිතේ කොණක සඟවගත්තු ඒ අපූරු හැඟීම් පැලෑටිය කිසිම ආකාරයකින් හානියක් වෙන්න නොදී වරින් වර කල්පනා පොහොර දමා සෙනෙහස් තෙතමනයකින් මාත්තු කරමින් දිගින් දිගටම නඩත්තු කරපු බව ජයවීරට අද පිළිගන්න උනා..
තමුන්ගෙ ජීවිතේ වසන්ත කාලය පුරාම උත්පලා සිහින මල් අතරින් මැවුනු හැටි කොච්චර නම් සුන්දරද...?
ඒ හීන මල් නෙලාගෙන එනකන් බලාගෙන උන්නු අතීතය කොච්චරම රසවත් ද..?
කාලය කියන්නෙ මහ අමුතු දෙයක්.. අද මේ පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්නෙ තමුන්මද කියලා ජයවීරට සැකයක් උපන්නා.. 'මම' කියනකොට මතක් වෙන්නෙ අර උත්පලා ගැන කිරිකෝඩු හීන මවපු කොළුගැටයව වෙන්නෙ කොහොමද දරු මුණුබුරන් ඉන්න ජයවීර නොවී කියන කාරනේ තේරුම් ගන්න බැරිවම ජයවීර පයිප්පෙ දුම්කොළ මාරු කලා..
ජීවිතයේ කටුක බව අඩු නැතිව අත්දකින්න ලැබුනු කාලය මැවී පෙනෙනවා... මුදල් හදල් ගැටලු.. අසනීප.. දරුවන්ගෙ කටයුතු.. ඔය ඔක්කොම එක්ක තමුන්ට හොඳටම ආදරය කරන බිරිඳක් එක්ක ගිම්හාන කාලයක් වගේ ඒ කාලෙට මූණ දුන්නත් හිතේ කොණක කොකියන හැඟීම් එහෙමම තිබිල නේද කියලා අද මේ කල්පනා කරන වෙලාවෙ ජයවීරට හිතෙනවා..
ඒ මොනවත් හින්දා නොදැනුනු කටුක බවක් ගිණියම් බවක් උත්පලා මතක්වෙනකොට ජයවීරට දැනුනු බව තර්කයක් නැතුවම ජයවීර පිළිගත්තා..
ඒත් අන්තිමට......
අද උදේ පාන්දරම ජයවීර අවදි උන හැටි... වැව අයිනට ගිහින් එලිය වැටෙනවා බලන් හිටපු හැටි කාලෙකට කලින් උනා වගේ දැනෙන්නෙ..
උදේ අට නමය වෙනකන්ම බංකුවකට බර වෙලා පිරිසිදු වාතාශ්රයේ සනීපය විඳගෙන එන්න හදනකොටම 'ජයේ.. ඔය ජයේ නේද?' කියලා වයසක මිනිහෙක් කතා නොකරා නම් මුළු ජීවිතේම මීට වෙනස් වෙන්න තිබුනා..
තමුන් එක්කම එකට පොඩි කාලෙ පිස්සු කෙලපු පෙරේර අඳුනගන්න ජයවීරට කොහොමත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ පෙරේරම තමුන්ව අඳුන්වලා දෙනකන්.හොඳ වෙලාවට පෙරේරා ජයවීරව ෆේස්බුක් එකෙන් දැකලා තිබුන.
අතීත කතා අතුරින් උත්පලාවත් මාතෘකාවක් උනේ නොදැනීම..
දශක ගණනකින් දැකල නැති උත්පලා තමුන්ව අඳුනගනීද කියන දෙගිඩියාවත් එක්කම ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් උදාසීන කමක් තියෙන නිසා ජයවීර පෙරේරත් එක්ක උත්පලා හමුවෙන්න යන්න කැමති උනා.....
..............................................
පොල්තෙල් පිච්චෙන සුවඳත් එක්ක එකතු උන ෆෝමලීන් සැර අස්සෙන් උත්පලා සුදෝසුදු සාරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ශෝකයෙන් භරිතවෙලා තමුන්ට ආචාර කරපු උත්පලාගෙ සැමියව වත් ඉකි ගසමින් දෙණට බර වෙලා හිටපු දූල දෙන්න වත් ජයවීරට පෙනුනෙ නෑ..
ඒත්....
දුවගෙ ඉකියත් එක්කම හෙමි හෙමින් තාලයට ගැස්සෙන උඩුවියනෙන් එල්ලෙන මල් වැල්....
මලානිකව එල්ලිලා ලතාවකට සෙලවෙන මල් වැල්.......
වසන්තකාලෙ උත්පලත් එක්ක නෙලාගත් හීන මල්.........
ඔව්.... ජයවීරට උත්පලා හමු උනා..
වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහී හිනැහී ඔබ සිටියා...
වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
අහස පොලොව ගිණියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ.....
ඔබ ආවා.....
ඔබ අත වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල අතරින්
ඔබගේ හද මා දුටුවා
පද : මහගම සේකර
හඬ සහ සංගීතය : අමරදේව
ප.ලි
දිනේශ් ගෙ බ්ලොග් එකේ අරූ දාපු කොමෙන්ට් එකක් ආපු දුර.තැන්කූ අරූ අයියෙ.